Categories: Latest News

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව 2023 මැයි මස 02 දින සිට 2023 මැයි මස 05 වන වෙසක් පුන් පොහෝ දිනය දක්වා පැවැත්විණි.

2023.05.02 දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකමක් ද, 2023.05.03 දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනයක් ද, 2023.05.04 දින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අක්ෂි සායනයක් සමග නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීම, ඇස් හා ශරීර කොටස් දන් දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැඩ සටහනක් හා අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්විණි.

2023.05.05 වන වෙසක් පුන් පොහෝ දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සැලක් ඒ හා සමගාමීව එදින ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව එක් ව සුහුරුපාය පරිශ්‍රය ආලෝකමත් කිරීම සහ පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබිණි.

මෙහිදී විදුලි ආලෝකය දැල්වීම හා කඩල දන්සැල විවෘත කිරීම ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් වෙසක් සතිය පුරා මත් උවදුරෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.

Off